2016 වසරේ විශිෂ්ටතම දැක්මක් ඇති කාන්තාව

2016වසරේ ආර්ථික හා වාණිජ්‍ය ක්ෂේත්‍රයන්හි විශිෂ්ටතම දැක්මක් ඇති කාන්තාවට හිමි අන්තර්ජාතික සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධණ මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිනී ඉන්දිරා මල්වත්ත මහත්මිය භාග්‍යවන්ත වී සිටියි. යම් පුද්ගලයකුට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් පිදෙන මේ ගෞරවනීය විශ්ව සම්මානයෙන් මෙතෙක් පිදුම් ලද ප්‍රථම හා එකම ශ්‍රී ලාංකික කාන්තාවද ඇය වේ.


සිය රටෙහි වාණිජ්‍ය, ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා කලා යන විවිධ ක්ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා ස්ථිර හා තිරසාර දැක්මකින් කටයුතු කරමින් තමා නිරත වන ක්ෂේත්‍රයන් මඟින් රටෙහි ආර්ථික හා සාමාජීය සංවර්ධනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් හා මාර්ගෝපදේශකත්වයක් සපයන කාන්තාවන් අගයමින් මේ සම්මානය පිරිනමනු ලැබේ. Women’s International Film and Television showcase (WIFTS) සංවිධානය මඟින් පසුගිය ජුනි 16 වැනිදා එක්සත් රාජධානියෙහිදී පවත්වන ලද 2016 අන්තර්ජාතික පෙරදැකුම් සම්මාන උලෙළේදී මල්වත්ත මහත්මිය වෙත මේ සම්මානය පිරිනමා තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාරවල නියැලෙන ව්‍යවසායිකාවන්ගේ අභිවෘද්ධිය උදෙසා මල්වත්ත මහත්මිය විසින් සපයන ලද විශිෂ්ට මාර්ගෝපදේශකත්වය උදෙසා ඇයට මේ සම්මානය හිමි විය. මෙරට සුළු පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා සම්ප්‍රදායික නොවන අපනයන ක්ෂේත්‍රයෙහි නව නිෂ්පාදන අවස්ථා හඳුන්වා දෙමින්, විදෙස් වෙළෙඳ පොළ ඉල්ලුමට සරිලන තත්ත්වයෙන් උසස් භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ ඔවුන් දැනුවත් කරමින්, ඔවුන් වෙත අන්තර්ජාතික වෙළෙඳපොළ අවස්ථා උදා කර දීම සඳහා මල්වත්ත මහත්මිය විසින් දක්වන ලද සක්‍රීය දායකත්වය විනිසුරු මඩුල්ලෙහි විශේෂ අවධානයට පාත්‍ර වී තිබේ.

ආර්ථික සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව වේගවත් ඉදිරි පියවරක් තබමින් සිටින මෙවැනි අවධියක අපනයන ක්ෂේත්‍රය තුළින් රටෙහි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ බරපතළ අභියෝගය කාන්තාවක අතට භාර දීම ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ තීරණාත්මක හා ප්‍රශංසාත්මක පියවරක් වන බව මේ සම්මානය මල්වත්ත මහත්මියට පිරිනමමින් WIFTS සංවිධානයෙහි නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ එල්ස්පෙත් ටැවරේ මහත්මිය පැවසුවාය.

කොළඹ විශාඛා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඉන්දිරා, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක් ද වෙයි. අපනයන ක්ෂේත්‍රයෙහිලා සිය දැනුම පුළුල් කර ගනිමින් ඉන්දිරා දෙස් විදෙස් සම්මාන රැසකට උරුමකම් කියා තිබේ. ඇය කලක් ලක්සල ආයතනයෙහි නිෂ්පාදන සංවර්ධන උපදේශිකාවක ලෙස ද කටයුතු කළාය.